ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

කොරියානු ජනරජයේ මියගිය ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා හිමි මරණ වන්දි සහ අනෙකුත් හිමිකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී තානාපති කාර්යාලය සහාය ලබා දෙයි. ඒ සඳහා කොරියානු ජනරජයේ සේවායෝජකයින්, අදාළ රජයේ ආයතන, රක්ෂණ සමාගම්, මූල්‍ය ආයතන සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරනු ලැබේ.

මෙමගින් නීත්‍යානුකූල වන්දි, රක්ෂණ ප්‍රතිලාභ, නොගෙවූ වැටුප්, සේවා අවසන් ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ, බැංකු ගිණුම්වල පවතින මුදල් සහ රැකියාවට අදාළ අනෙකුත් හිමිකම් ලබා ගැනීමට පහසුකම් සලසනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල උරුමකරුවන්/ළඟම ඥාතීන් (Next of Kin – NoK) වෙතින් අවශ්‍ය ලේඛන ලැබුණු පසු, තානාපති කාර්යාලය විසින් එම ලේඛන පරීක්ෂා කර අදාළ බලධාරීන් වෙත යොමු කරනු ලබයි.

නිසි ප්‍රතිලාභීන් වෙත මරණ වන්දි සහ අනෙකුත් හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ හෝ කොරියානුවේ සිටින නීත්‍යානුකූල උරුමකරුවන්/ළඟම ඥාතීන් සහ අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණය කරමින් හිමිකම් පියවීම දක්වා අවශ්‍ය සහාය ලබා දෙනු ලැබේ.

එක් එක් සිද්ධියේ තත්ත්වය අනුව අවශ්‍ය ලේඛන වෙනස් විය හැකි නමුත්, මූලික වශයෙන් අවශ්‍ය වන ලේඛන පහත සඳහන් වේ.

මූලිකව අවශ්‍ය ලේඛන

i. රක්ෂණ ප්‍රතිලාභ, වන්දි සහ/හෝ මියගිය පුද්ගලයා සතුව තිබූ බැංකු ගිණුම්වල මුදල් (ඇත්නම්) සඳහා හිමිකම් ඉල්ලා සිටීමේ අරමුණින් නීත්‍යානුකූල උරුමකරුවන් වෙනුවෙන් තානාපති කාර්යාලයට කටයුතු කිරීමට බලය පවරන ඇටෝර්නි බලපත්‍රයක් (Power of Attorney) – ඉංග්‍රීසි භාෂාවෙන්.

ii. මියගිය පුද්ගලයාගේ නීත්‍යානුකූල උරුමකරුවන් තහවුරු කරමින් නීතිඥවරයෙකු (Attorney-at-Law) විසින් නිකුත් කරන ලද නීත්‍යානුකූල උරුමකරුවන්ගේ සහතිකයක් (Legal Heir Certificate) – ඉංග්‍රීසි භාෂාවෙන්.

iii. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් ගෙවිය යුතු රක්ෂණ ප්‍රතිලාභ, වන්දි සහ/හෝ බැංකු ගිණුම්වල පවතින මුදල් (ඇත්නම්) නම් කළ ප්‍රතිලාභියා වෙත මුදා හැරීමට එකඟ වන බව ප්‍රකාශ කරමින් සියලු නීත්‍යානුකූල උරුමකරුවන් විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් (Sworn Affidavit) – ඉංග්‍රීසි භාෂාවෙන්.

iv. ප්‍රතිලාභියාගේ බැංකු ගිණුම් විස්තර තහවුරු කරමින් අදාළ බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු සහතික ලිපියක් සමඟ ප්‍රතිලාභියාගේ බැංකු පාස්පොතේ පිටපතක්. සහතික ලිපියේ ගිණුම් හිමියාගේ සම්පූර්ණ නම, ගිණුම් අංකය, SWIFT කේතය සහ ශාඛා කේතය පැහැදිලිව සඳහන් විය යුතු අතර, එය ඉංග්‍රීසි භාෂාවෙන් විය යුතුය.

v. මියගිය පුද්ගලයා විසින් කොරියානු ජනරජයේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ විස්තර, ඒවා ලබාගත හැකි නම්, අදාළ බැංකුවේ නම සහ ගිණුම් අංකය ඇතුළුව.

vi. ප්‍රතිලාභියාගේ ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපත සහ විස්තරාත්මක උපුටනයක් (හෝ සහතික කළ විස්තරාත්මක පිටපතක්) – ඉංග්‍රීසි භාෂාවෙන්.

vii. මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපත සහ විස්තරාත්මක උපුටනයක් (හෝ සහතික කළ විස්තරාත්මක පිටපතක්) – ඉංග්‍රීසි භාෂාවෙන්.

viii. මියගිය පුද්ගලයා විවාහකයෙකු නම්, විවාහ සහතිකයේ පිටපතක්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර.

ix. මියගිය පුද්ගලයා අවිවාහකයෙකු නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර.

x. Samsung Fire & Marine Insurance Co., Ltd. වෙත බලය පවරන මුල් ඇටෝර්නි බලපත්‍ර දෙකක් (02) – ඉංග්‍රීසි භාෂාවෙන්.

වැදගත් කරුණු

  • ඉහත i, ii සහ iii යටතේ සඳහන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලේඛන සහ viii/ix යටතේ සඳහන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ලේඛනය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මගින් සහතික කර තිබිය යුතුය.
  • ඉහත සඳහන් සියලු ලේඛනවල සඳහන් වන සියලුම පුද්ගලයින්ගේ නම්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ (NIC) විස්තරාත්මක ඉංග්‍රීසි පිටපතේ සඳහන් ආකාරයටම නිවැරදිව හා සම්පූර්ණයෙන්  සඳහන් කළ යුතුය.
  • විශේෂයෙන් පුද්ගල නම් ඇතුළුව තොරතුරු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී, සියලුම ලේඛනවල අක්ෂර එකිනෙකට සමාන විය යුත
  • වන්දි ලබා ගැනීමට හිමිකම් ඇති ප්‍රතිලාභියාගේ සම්පූර්ණ නම, උපන් දිනය සහ අනෙකුත් සියලු විස්තර ඉහත සියලුම ලේඛනවල එකිනෙකට සමාන විය යුතුය. සුළු වශයෙන් හෝ කිසියම් වෙනසක් පවතින්නේ නම්, එම වෙනස පැහැදිලි කරමින් දිවුරුම් ප්‍රකාශයක්ඉ දිරිපත් කළ යුතුය
  • වන්දි හිමිකම් ඉල්ලීම සම්බන්ධයෙන් ක්‍රියාවලිය අතරතුර ඉහත ලැයිස්තුවේ සඳහන් ලේඛනවලට අමතරව වෙනත් ලේඛන අවශ්‍ය වන්නේ නම්, එක් එක් සිද්ධිය අනුව ඒ පිළිබඳව අයදුම්කරු වෙත දැනුම් දෙනු ලැබේ.