ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

කොරියානු ජනරජයේදී ශ්‍රී ලාංකික පුරවැසියකු මියගිය විට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය

  1. මරණය වාර්තා කිරීම සහ ළඟම ඥාතියා දැනුවත් කිරීම

  1. මරණය තහවුරු කිරීම: පොලිසිය / රෝහල විසින් මරණය තහවුරු කරමින් තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුවත් කළ යුතුය.
  2. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා නිල වශයෙන් දැනුවත් කරනු ලැබේ.
  3. කොන්සියුලර් කටයුතු ආරම්භ කිරීම සඳහා ළඟම ඥාතියා විසින් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතුය.

සම්පූර්ණ හා නිවැරදි ලේඛන කඩිනමින් ඉදිරිපත් කිරීම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උපකාරී වේ.

ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ගාස්තු අය කරනු නොලැබේ.

  • කොරියානු ජනරජයේදී මරණය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා නම් කරන ලද පුද්ගලයාට තානාපති කාර්යාලයේ විරුද්ධත්වයක් නොමැති බව දැක්වෙන ලිපිය / බලය පැවරීමේ ලිපිය අවශ්‍ය වේ.
  • එම ලිපිය නිකුත් කිරීම සඳහා, කොරියානු ජනරජයේදී අවශ්‍ය කටයුතු සිදු කිරීමට පුද්ගලයකු නම් කරමින්, ළඟම ඥාතියා හෝ බලයලත් පුද්ගලයා විසින් ලබාදෙන කැමැත්ත ප්‍රකාශ කිරීමේ දිවුරුම් ප්‍රකාශය හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතුය. පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේද යන්න සහ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වන්නේද නැතහොත් ආදාහනය කරන්නේද යන්න පිළිබඳ කැමැත්ත ද එහි සඳහන් කළ යුතුය.

a. අවශ්‍ය ලේඛන — සියලුම අවස්ථා සඳහා

මරණය පිළිබඳ දැනුම් දීමෙන් පසු, ශ්‍රී ලංකාවේ සිටින ළඟම ඥාතියා (මියගිය පුද්ගලයා අවිවාහක නම් දෙමාපියන් / විවාහක නම් කලත්‍රයා) විසින් පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය:

  • සම්පූර්ණ කරන ලද පැමිණිලි පෝරමය (සිංහල | දෙමළ | ඉංග්‍රීසි)
  • ළඟම ඥාතියාගේ හෝ බලයලත් පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ දිවුරුම් ප්‍රකාශය (සිංහල | දෙමළ | ඉංග්‍රීසි)
  • විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කරන දිවුරුම් ප්‍රකාශය / ප්‍රකාශ (ළඟම ඥාතීන් කිහිපදෙනකු සිටින විට හෝ බලයලත් නියෝජිතයකු සම්බන්ධ වන විට)
  • මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකය
  • මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ සහ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත්
  • ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රතිඅත්සන් කරන ලද පවුල් පසුබිම් වාර්තාව
  • ලේඛනවල සඳහන් නම් අතර වෙනස්කම් ඇත්නම්, එම නම්වලින් හැඳින්වෙන්නේ එකම පුද්ගලයා බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක්

b. අමතර ලේඛන

i. මියගිය පුද්ගලයා විවාහක නම්

  • විවාහ සහතිකය හෝ දික්කසාද සහතිකය (අදාළ පරිදි)
  • විවාහය නීත්‍යනුකූලව ලියාපදිංචි කර නොමැති නම්, එම සම්බන්ධතාව තහවුරු කරමින් කලත්‍රයා විසින් ලබාදෙන දිවුරුම් ප්‍රකාශයක්
  • කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය
  • දරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික (අදාළ නම්)
  • කලත්‍රයා මියගොස් ඇත්නම්, ඔහුගේ / ඇයගේ මරණ සහතිකය

ii. මියගිය පුද්ගලයා අවිවාහක නම්

  • දෙමාපියන්ගේ විවාහ සහතිකය
  • දෙමාපියන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ ජාතික හැඳුනුම්පත් සහ උප්පැන්න සහතික
  • අවිවාහක බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් (මව හෝ පියා විසින් ලබාදිය යුතු අතර, දෙමාපියන් දෙදෙනාම මියගොස් ඇත්නම් සහෝදරයකු හෝ සහෝදරියක විසින් ලබාදිය යුතුය)

c. ලේඛන ඉදිරිපත් කිරීම

i. වැඩකරන දිනවලදී

වේලාව: පෙ.ව. 8:30 සිට ප.ව. 4:00 දක්වා

පහත සඳහන් ස්ථාන වෙත ලේඛන ඉදිරිපත් කළ හැකිය:

  • මරණ අංශය, කොන්සියුලර් කටයුතු අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය
  • ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල (මහනුවර, කුරුණෑගල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය)
  • ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

ii. සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී

වේලාව: පෙ.ව. 8:30 සිට ප.ව. 4:00 දක්වා

පහත සඳහන් ස්ථානය වෙත ලේඛන ඉදිරිපත් කළ හැකිය:

විදේශ කටයුතු අමාත්‍යාංශයජනරජ ගොඩනැගිල්ලශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතකොළඹ 01ශ්‍රී ලංකාව

2. මෘත දේහ ශ්‍රී ලංකාවට ගෙන්වීම

2.1 සුදුසුකම්

  • ශ්‍රී ලාංකික පුරවැසියන්
  • ශ්‍රී ලංකාවේ උපත ලැබූ, විදේශීය ගුවන් ගමන් බලපත්‍ර දරන පුද්ගලයන්
  • ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ විවාහ වී සිටින විදේශීය පුරවැසියන්

2.2 මෘත දේහ ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අවශ්‍ය ලේඛන

මෘත දේහ ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෙර, පහත සඳහන් ලේඛන ඉදිරිපත් කර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ (APHO) පූර්ව අනුමැතිය ලබාගත යුතුය. සියලුම ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ යුතුය.

වෙනත් භාෂාවකින් සකස් කර ඇති ලේඛන සඳහා, අදාළ ලේඛනයේ සත්‍ය පිටපතක් සමඟ ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය.

  • අවලංගු කරන ලද ගුවන් ගමන් බලපත්‍රය (අනන්‍යතාව තහවුරු කිරීම සඳහා)
  • මරණයට හේතුව සඳහන් මරණ සහතිකය
  • දේහය එම්බාම් කළ බවට සහතිකය
  • බෝවන රෝගයක් නොමැති බව තහවුරු කරන සහතිකය
  • පොලිස් වාර්තාව / හදිසි මරණ පරීක්ෂක වාර්තාව / අධිකරණ වෛද්‍ය වාර්තාව (අදාළ නම්)
  • සෝල්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද විරුද්ධත්වයක් නොමැති බව දැක්වෙන සහතිකය

2.3 විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා

බෝවන රෝග සම්බන්ධ අවස්ථාවලදී මෘත දේහ ශ්‍රී ලංකාවට ගෙන්වීම සීමා කළ හැකිය.

මහජන සෞඛ්‍ය රෙගුලාසි අනුව පහත සඳහන් අවශ්‍යතා අදාළ විය හැකිය:

  • විශේෂ අනුමැතීන්
  • අනිවාර්යයෙන් රැඳී සිටිය යුතු කාලසීමා
  • විකල්ප විධිවිධාන (උදාහරණ ලෙස, මරණය සිදුවූ රටේදී භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම)

මෘත දේහ ශ්‍රී ලංකාවට ගෙන්වීමේ මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා: ඇමුණුම

3. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික බඩු බාහිරාදිය

මියගිය පුද්ගලයාගේ වටිනා භාණ්ඩ (උදාහරණ ලෙස, ලේඛන සහ ස්වර්ණාභරණ) ළඟම ඥාතියා වෙත ලබාගැනීම සඳහා:

  • විද්‍යුත් තැපෑලෙන්, තැපෑලෙන් හෝ පෞද්ගලිකව පැමිණ කොන්සියුලර් කටයුතු අංශය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
  • භාණ්ඩ භාරගැනීමට සූදානම් වූ පසු ළඟම ඥාතියා දැනුවත් කරනු ලැබේ.

නියෝජිතයකු විසින් අදාළ තානාපති කාර්යාලයෙන් / කොන්සියුලර් කාර්යාලයෙන් සෘජුවම භාණ්ඩ භාරගන්නේ නම්:

  • ළඟම ඥාතියා විසින් බලය පවරමින් ලබාදෙන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
  • නියෝජිතයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කරන්න.

වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා:

මරණ අංශයකොන්සියුලර් කටයුතු අංශයවිදේශ කටයුතු අමාත්‍යාංශය16 වන මහල, “සුහුරුපාය”ශ්‍රී සුභූතිපුර පාරබත්තරමුල්ලශ්‍රී ලංකාව

+94 11 227 5525death.consular@mfa.gov.lk