ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag

රැකියා බලපත්‍ර ක්‍රමය (Employment Permit System – EPS)

කොරියානු ජාතික ශ්‍රමිකයින් බඳවා ගැනීමට අපොහොසත් වූ සේවායෝජකයින්ට අවශ්‍ය ප්‍රමාණයට විදේශීය ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බඳවා ගැනීමට අවස්ථාව සලසන ක්‍රමවේදයක් ලෙස රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) හඳුන්වා දී ඇත. කොරියානු රජය විසින් විදේශීය ශ්‍රමිකයින් විධිමත් හා සංවිධානාත්මක ආකාරයකින් කොරියාවට ගෙන්වා ගැනීම සහ ඔවුන්ගේ රැකියා කටයුතු කළමනාකරණය කිරීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙන ලදී.

කොරියානු රජය විසින් 2004 අගෝස්තු 17 වන දින වියට්නාමය, පිලිපීනය, ඉන්දුනීසියාව, මොංගෝලියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් හයකින් EPS ක්‍රමය ආරම්භ කරන ලදී. මේ වන විට රටවල් 17ක් EPS ක්‍රමයට එක්වී ඇත.

ශ්‍රී ලංකාවේ EPS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) යි.

EPS ක්‍රමය යටතේ කොරියානු ජනරජයේ නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන කර්මාන්ත ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා හිමි වේ.

වැඩිදුර තොරතුරු: EPS නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැක. https://www.eps.go.kr/eo/langMain.eo?langCD=ph&menuID=&pgID=P_000000055

·        කොරියානු ජාතික විශ්‍රාම වැටුප් සේවය (National Pension Service – NPS)

කොරියානු ජාතික විශ්‍රාම වැටුප් සේවය (NPS) යනු රක්ෂණයට දායක වන පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීම මගින් විශ්‍රාම යාම, ආබාධිත තත්ත්වය හෝ පවුලේ ආදායම් උපයන්නා අහිමි වීම වැනි අවස්ථාවලදී ආදායම් ආරක්ෂාව සහ ස්ථාවර ජීවනෝපායක් සහතික කිරීම සඳහා කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ ක්‍රමයකි.

• ආවරණය: දකුණු කොරියාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ත් 59ත් අතර විදේශිකයන්ට, ඔවුන්ගේ ජාතිකත්වය, වීසා හෝ රැඳී සිටීමේ තත්ත්වය සහ අනෙකුත් අදාළ කොන්දේසි මත පදනම්ව, ජාතික විශ්‍රාම වැටුප් සේවාවේ (National Pension Service – NPS) සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

• දායක මුදල්:

E-9 සහ E-7 වැනි වීසා යටතේ සේවය කරන සේවකයන් ඔවුන්ගේ මාසික ආදායමෙන් 9%ක් මේ සඳහා දායක කළයුතු වන අතර, එම දායක මුදල සේවකයා සහ සේවායෝජකයා අතර සමානව බෙදා ගෙවනු ලැබේ. දායක මුදල් අනුපාතය 2025 වර්ෂය වන විට 3% සිට 9% දක්වා ක්‍රමයෙන් වැඩි කර ඇත. 2026 වර්ෂයේ සිට වාර්ෂිකව ප්‍රතිශත ලක්ෂ්‍ය 0.5 බැගින් වැඩි කරමින් 2033 වර්ෂය වන විට එය 13% දක්වා ඉහළ නැංවීමට නියමිතය.

• ප්‍රතිලාභ: විදේශීය රක්ෂණලාභීන්ටද කොරියානු පුරවැසියන්ට අදාළ එකම ප්‍රමිතීන් යටතේ වයස්ගත විශ්‍රාම වැටුප්, ආබාධිත විශ්‍රාම වැටුප් හෝ රක්ෂිතයාගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හිමිකම් ඇත.

• ප්‍රතිලාභ ලබා ගැනීම:

වයස්ගත විශ්‍රාම වැටුප, ආබාධිත විශ්‍රාම වැටුප හෝ යැපෙන්නන්ගේ විශ්‍රාම වැටුප සඳහා NPS ශාඛා කාර්යාලයකට පෞද්ගලිකව පැමිණීමෙන්, තැපෑලෙන් හෝ බලයලත් නියෝජිතයකු මාර්ගයෙන් අයදුම් කළ හැකිය. කෙසේ වෙතත්, ඉන්චොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී NPS මුදල් ලබා ගැනීම සඳහා අයදුම් කළ හැක්කේ එකවර ගෙවනු ලබන ආපසු ගෙවීමේ මුදල (Lump-sum Refund) සඳහා පමණි.

රක්ෂණලාභියා දැනටමත් කොරියානු ජනරජයෙන් පිටව ගොස් ඇත්නම්, ජාතික විශ්‍රාම වැටුප් සේවය (National Pension Service – NPS) වෙතින් එකවර ගෙවන මුදල් ප්‍රතිලාභය (Lump-sum Refund) හෝ නොලැබුණු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය. SLBFE විසින් එම අයදුම්පත් කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ජාතික විශ්‍රාම වැටුප් සේවය (National Pension Service – NPS) වෙත යොමු කරනු ලබයි. අනතුරුව, ජාතික විශ්‍රාම වැටුප් සේවය (National Pension Service – NPS) විසින් අයදුම්කරු වෙත ප්‍රතිලාභ මුදල ගෙවා, ගෙවීම පිළිබඳ දැනුම්දීම අයදුම්කරු වෙත සෘජුවම සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) 2011 නොවැම්බර් 22 දින අත්සන් කර ඇත.

වැඩිදුර තොරතුරු: NPS නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැක https://www.nps.or.kr/eng/main.do

·        කොරියානු ජනරජයේ රක්ෂණ යෝජනා ක්‍රම

E-9 වීසා කාණ්ඩය යටතේ සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ සේවායෝජකයින්, විදේශීය ශ්‍රමිකයින්ගේ රැකියා සම්බන්ධ කම්කරු නීති යටතේ පහත සඳහන් රක්ෂණ යෝජනා ක්‍රම හතරට දායක විය යුතුය.

01. සේවා අවසන් ප්‍රතිලාභ රක්ෂණය (Departure Guarantee Insurance)

විදේශීය ශ්‍රමිකයෙකු වසරක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර ඇත්නම්, සේවා ස්ථානයෙන් ඉවත්වීමේදී ගෙවිය යුතු සේවා අවසන් ප්‍රතිලාභය ආවරණය කිරීම සඳහා සේවායෝජකයා විසින් එම ශ්‍රමිකයා වෙනුවෙන් මෙම රක්ෂණ ආවරණය ලබා ගත යුතුය.

සේවායෝජකයා විසින් කම්කරු ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේ සිට දින 15ක් ඇතුළත Samsung Fire & Marine Insurance Co., Ltd. වෙතින් මෙම රක්ෂණය ලබා ගත යුතුය.

සේවා හැර යාමකින් හෝ සේවා ස්ථානය වෙනස් කිරීමකින් තොරව වසරකට වැඩි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව, ශ්‍රමිකයා සිය මව් රට බලා පිටත්ව යන අවස්ථාවේදී සේවායෝජකයා හරහා මෙම රක්ෂණ ප්‍රතිලාභය ලබා ගත හැකිය.

02. වැටුප් සහතික රක්ෂණය (Wage Guarantee Insurance)

ශ්‍රමිකයින්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වීම හෝ නොගෙවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වැටුප් ආරක්ෂා කිරීම සඳහා සේවායෝජකයා විසින් විදේශීය ශ්‍රමිකයා වෙනුවෙන් මෙම රක්ෂණ ආවරණය ලබා ගත යුතුය.

සේවායෝජකයා විසින් කම්කරු ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේ සිට දින 15ක් ඇතුළත Seoul Guarantee Insurance Co., Ltd. වෙතින් මෙම රක්ෂණය ලබා ගත යුතුය.

කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය මගින් කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව, නොගෙවූ වැටුප් මෙම රක්ෂණය යටතේ ලබා ගැනීමට ශ්‍රමිකයින්ට හැකියාව ඇත.

03. ආපසු පැමිණීමේ වියදම් රක්ෂණය (Return Cost Insurance)

ශ්‍රමිකයාගේ මව් රට බලා ආපසු පැමිණීම සඳහා වැය වන ගමන් වියදම් ආවරණය කිරීම සඳහා ශ්‍රමිකයා විසින් මෙම රක්ෂණ ආවරණය ලබා ගත යුතුය.

කම්කරු ගිවිසුම ක්‍රියාත්මක වන දිනයේ සිට මාස 03ක් ඇතුළත Samsung Fire & Marine Insurance Co., Ltd. වෙතින් මෙම රක්ෂණය සඳහා අයදුම් කළ යුතුය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා මෙම රක්ෂණයේ ප්‍රතිලාභය කොරියානු වොන් 600,000 (KRW 600,000) කි.

04. හදිසි අනතුරු රක්ෂණය (Casualty Insurance)

විදේශීය සේවකයෙකුට සේවා ස්ථානයේදී සිදුවන අනතුරක්, අසනීප තත්ත්වයක්, ආබාධිතභාවයක් හෝ මරණයක් හේතුවෙන් වන්දි මුදල් ලබා ගැනීම සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ.

සේවා ගිවිසුම බලාත්මක වන දිනයේ සිට දින 15ක් ඇතුළත සේවකයා විසින් Samsung Fire & Marine Insurance Co., Ltd. ආයතනයෙන් මෙම රක්ෂණ ආවරණය සඳහා අයදුම් කළ යුතුය.

කොරියාවට පැමිණීමෙන් අනතුරුව පුහුණු මධ්‍යස්ථානවල පැවැත්වෙන පුහුණු කාලසීමාව තුළදී, සේවකයන් විසින් වසර තුනක කාලයක් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබා ගැනීමට අයදුම් කරනු ලබයි. වසර තුනක සේවා ගිවිසුම් කාලය අවසන් වූ පසු, අදාළ රක්ෂණ ආවරණය අලුත් කළ යුතුය.

වැඩිදුර තොරතුරු: https://foreign-worker.sfmi.co.kr/main වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැක