ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය

இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு

Embassy of Sri Lanka, Seoul, Republic of Korea

Embassy Flag


රැකියා හා සුබසාධනය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), 1985 අංක 21 දරන පනත යටතේ ස්ථාපිත කරන ලද අතර, ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ රැකියා සම්බන්ධ කටයුතු නියාමනය කිරීමේ ප්‍රධාන බලයලත් ආයතනය වේ. විදේශ රටවල තාවකාලික රැකියා ගිවිසුම් යටතේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කාර්යාංශයේ අරමුණු එම පනත මගින් නිශ්චිත කර ඇත. ඒ අනුව, ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලිය විධිමත් හා නියාමනය කිරීම මෙන්ම විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කරනු ලබයි.

කොරියානු ජනරජයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා, කොරියානු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රැකියා බලපත්‍ර ක්‍රමය (Employment Permit System – EPS) යටතේ මෙන්ම, බඳවා ගැනීමේ නියෝජිත ආයතන හරහා E-7 වීසා කාණ්ඩ යටතේ සහ රජයන් අතර පවතින එකඟතා මත ක්‍රියාත්මක වන E-8 සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේද ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රැකියා බලපත්‍ර ක්‍රමය (Employment Permit System – EPS)  යටතේ පළමු ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MOU) 2004 වර්ෂයේදී අත්සන් කරන ලදී. වර්තමානයේ කොරියානු ජනරජයේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන විවිධ ක්ෂේත්‍රවල රැකියා බලපත්‍ර ක්‍රමය (Employment Permit System – EPS)  යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.

කොරියාවේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශය (Employment and Welfare Section) විසින් කොරියානු ජනරජයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

ඒ අනුව, රැකියා හා සුබසාධන අංශය මගින් පහත සඳහන් සේවාවන් සපයනු ලබයි.

රැකියා හා සුබසාධන අංශයේ සේවා හා කාර්යභාරය

  • කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය, කොරියානු මානව සම්පත් සංවර්ධන සේවය (HRD Korea), අධිකරණ අමාත්‍යාංශය, කොරියානු ජාතික විශ්‍රාම වැටුප් සේවය (NPS),
    බඳවා ගැනීමේ නියෝජිත ආයතන, පළාත් පාලන ආයතන සහ සංක්‍රමණික සහාය මධ්‍යස්ථාන ඇතුළු අදාළ ආයතන සමඟ
    සමීප සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ විවිධ අවස්ථාවලදී පැන නගින ගැටලු විසඳීම.
  • ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය අලුත් කිරීම.
  • කොරියානු ජනරජයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ළඟම ඥාතීන් (Next of Kin – NoK) වෙතින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • රෝගාබාධ හෝ අනතුරු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහාය වීම සඳහා රෝහල් වෙත යාම
  • සිරදඬුවම් විඳින හෝ නඩු විභාගයක් අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා අදාළ අවස්ථාවලදී බන්ධනාගාර, අධිකරණ, ආගමන බලධාරීන් සහ පොලිස්ස්ථාන වෙත යාම.
  • වෛද්‍යමය හෝ වෙනත් හේතු මත ශ්‍රමිකයින් වහාම ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අවශ්‍ය සහාය ලබා දීම, කොරියානු ජාතික විශ්‍රාම වැටුප් සේවයෙන් (NPS) විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීමට සහාය වීම සහ කොරියානු ජනරජයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රක්ෂණ යෝජනා ක්‍රම යටතේ රක්ෂණ ප්‍රතිලාභ හා වන්දි ලබා ගැනීමට සහාය වීම.
  • ගුවන්තොටුපල වෙත පැමිණෙන නවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිගැනීම.
  • කොරියානු ජනරජයේ ජීවන හා සේවා තත්ත්වයන්, ආරක්ෂාව සහ වෘත්තීයමය කරුණු පිළිබඳව ශ්‍රමිකයින් දැනුවත් කිරීම සඳහා ඔවුන් කොරියාවට පැමිණීමේදී සහ රැඳී සිටින කාලය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සමඟ එක්ව සෝල් නගරයෙන් බැහැර ප්‍රදේශවල ජංගම කොන්සියුලර් හා සුබසාධන සේවා වැඩසටහන් පැවැත්වීම.
  • ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයේ නිරත සමාගම් වෙත ගොස් සේවායෝජකයින් සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැනීම, ශ්‍රී ලංකාව රැකියා අවස්ථා සඳහා  ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයන් සහ රැකියා පරිසරය පිළිබඳව සොයා බැලීම.
  • කාර්මික හා වෙනත් අනතුරුවලට ලක් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවීමට ගොස් ඔවුන්ට වෛද්‍ය සහ අනෙකුත් අවශ්‍ය සහාය හා වන්දි ලබා ගැනීමට පහසුකම් සැලසීම, එම සිදුවීම් සම්බන්ධයෙන් ඇගයීම් සිදුකර  අනාගතයේදී එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම හා වාර්තා කිරීම
  • E-9, E-7 සහ E-8 වීසා කාණ්ඩ යටතේ කොරියානු ජනරජයේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම.