ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල්, කොරියානු ජනරජය
இலங்கைத் தூதரகம், சியோல், கொரியக் குடியரசு
Embassy of Sri Lanka, Seoul, Republic of Korea

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධිවිධාන අනුව, විදේශ රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම ශ්‍රී ලාංකිකයෙකුම රටින් පිටත්ව යාමට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත යුතුය.
කොරියානු ජනරජයට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වසර දෙකක හෝ තුනක වලංගු කාලයක් සහිත කාර්යාංශ ලියාපදිංචිය ලබා දෙනු ලැබේ. රැකියා ගිවිසුම් කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුවද රැකියාව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් කරන්නේ නම්, අදාළ අවස්ථාවලදී ලියාපදිංචිය තවත් කාලයකට අලුත් කළ යුතුය.
සේවායෝජකයා වෙනස් කරන අවස්ථාවකදී, ඉතිරි ගිවිසුම් කාලය සඳහා නව කාර්යාංශ ලියාපදිංචියක් ලබා ගත යුතුය.
| ලියාපදිංචි කිරීම | සමාජ ආරක්ෂණ බද්ද (රු.) | වැට් බද්ද (රු.) | මුළු එකතුව (රු.) | අදාළ අවස්ථා |
| මූලිකලියාපදිංචිගාස්තුවරු.18,200/- | 467 | 3,360 | 20,027 | • විදේශ රැකියාවක් සඳහා පළමු වරට පිටත්ව යාමේදී • ශ්‍රමිකයාගේ සේවායෝජකයා වෙනස් කිරීමේදී |
| ලියාපදිංචියඅලුත්කිරීමේගාස්තුව රු.3,800/- | 97 | 702 | 4,600 | • මූලික රැකියා ගිවිසුම් කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම සේවායෝජකයා සමඟම රැකියාව තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අවස්ථාවකදී |
· කාර්යාංශ ලියාපදිංචිය අලුත් කිරීම
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෝල් වෙතින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ එකතු කළ අගය මත බද්ද (VAT) ගෙවීමකින් තොරව කාර්යාංශ ලියාපදිංචිය අලුත් කරගත හැකිය.
අදාළ ගාස්තු සමඟ පහත සඳහන් ලේඛන ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් කාර්යාංශ ලියාපදිංචිය ලබාගත හැකිය. අදාළ ගෙවීම් කොරියානු වොන් (KRW) වලින් සිදු කළ යුතුය.
- ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍රය
- විදේශික ලියාපදිංචි කාඩ්පත (Alien Registration Card – ARC)
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (අයදුම්පත්‍රය තානාපති කාර්යාලයෙන් ලබාගත හැකි අතර, තානාපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය.)
· කාර්යාංශය මගින් සපයනු ලබන සුබසාධන සේවා
ශ්‍රී ලංකාවෙන් බැහැරව සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය සුබසාධන වැඩසටහන් සඳහා කාර්යාංශ ලියාපදිංචි ගාස්තු භාවිත කරනු ලබයි.
ඒ අනුව, කාර්යාංශ විසින් ආහාර හා වෛද්‍ය ආධාර, රෝගාබාධයක් සහ/හෝ මරණයක් සිදුවන අවස්ථාවක හදිසි ආපසු ගෙන්වා ගැනීමේ වියදම් සහ අවශ්‍ය අවස්ථාවලදී මියගිය ශ්‍රමිකයින්ගේ දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන වියදම් සඳහා සහාය ලබා දෙනු ලැබේ.
· කාර්යාංශ රක්ෂණ ආවරණය
කාර්යාංශයෙහි ලියාපදිංචි වී ඇති සෑම ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුටම රක්ෂණ ආවරණයක් හිමිවන අතර, පහත සඳහන් අවස්ථාවලදී අදාළ රක්ෂණ ප්රතිලාභ ලබාගත හැකිය:
- විදේශ රැකියාවේ නිරතව සිටින අතරතුර, ගිවිසුම් කාලය තුළදී හිරිහැර, රෝගාබාධ, අනතුරු හෝ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමේ අවශ්‍යතාව ඇතිවීම.
- විදේශ රැකියාවේ නිරතව සිටින අතරතුර, සේවායෝජකයා හෝ ඔහුගේ/ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් සිදු කරන ලද ලිංගික හිරිහැරයක ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමේ අවශ්‍යතාව ඇතිවීම.
- විදේශ රැකියාවේ නිරතව සිටින අතරතුර ඕනෑම හේතුවක් මත මරණයට පත්වීම.
- ගිවිසුම්කා ලය තුළ විදේශ රැකියාවේ නිරතව සිටියදී ඇති වූ බරපතළ රෝගී තත්ත්වයක් හෝ අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ මාස තුනක් ඇතුළත මරණයට පත්වීම.
- ගිවිසුම්කා ලය තුළ විදේශ රැකියාවේ නිරතව සිටියදී ඇති වූ අර්ධ ආබාධිත තත්ත්වයක්.
- පවුලේ සාමාජිකයෙකුට සිදුවන අනතුරක්, තුවාලයක් හෝ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමේදී දැරීමට සිදුවන රෝහල්ගත වීමේ සහ වෛද්‍ය ප්‍රතිකාර වියදම්.
· ලියාපදිංචි ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා කාර්යාංශ සුබසාධන පහසුකම්
මීට අමතරව, ලියාපදිංචි ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා කාර්යාංශය විසින් පහත සඳහන් සුබසාධන පහසුකම් සපයනු ලබයි:
- සහනදායී පොලී අනුපාත යටතේ බහුකාර්ය ණය යෝජනා ක්‍රම සඳහා පහසුකම් සැලසීම.
- ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වන පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ තාක්ෂණික විද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම.
- අවශ්‍යතා ඇති විගමනික ශ්‍රමිකයින් සඳහා සුබසාධන ආධාර ලබා දීම.
- ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයින් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
වැඩිදුර තොරතුරු: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය https://www.slbfe.lk/
· “විගමනික ශ්‍රමික” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
“විගමනික ශ්‍රමික” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා හඳුන්වා දී ඇති විශේෂ විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමයකි. විගමණික ශ්‍රමිකයින්ගේ විශ්‍රාම දිවිය සඳහා මූල්‍ය ආරක්ෂාව සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SSB) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) එක්ව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබයි.
සුදුසුකම්
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්
- යෝජනා ක්‍රමයට එක්වන අවස්ථාවේ වයස අවුරුදු 18ත් 59ත් අතර විය යුතුය.
ප්‍රධාන ප්රතිලාභ
- මාසික විශ්‍රාම වැටුප: සුදුසුකම් සපුරන සාමාජිකයින්ට වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුපක් හිමි වේ.
- කලත්‍රයා/නම් කළ ප්‍රතිලාභියා සඳහා විශ්‍රාම වැටුප: සාමාජිකයා
විශ්‍රාම ගැනීමෙන් පසුව, එහෙත් යෝජනා ක්රමයේ
නියමිත වයස් සීමාව සම්පූර්ණ කිරීමට පෙර මියගියහොත්, එම වයස් සීමාව දක්වා කලත්‍රයාට හෝ නම් කළ ප්‍රතිලාභියාට විශ්‍රාම
වැටුප අඛණ්ඩව ලබාගත හැකිය - මරණ පාරිතෝෂිකය: සාමාජිකයා විශ්‍රාම ගැනීමට පෙර මියගියහොත්, මරණ පාරිතෝෂිකයක් සහ එකතු වී ඇති දායක මුදල් සඳහා ලැබුණු පොලිය සමඟ එම මුදල් නීත්‍යානුකූල ප්‍රතිලාභීන් වෙත ගෙවනු ලැබේ.
- ස්ථිර ආබාධිත ප්රතිලාභ: අනතුරක් හෝ රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්ථිර අර්ධ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී මූල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
- විශ්‍රාම පාරිතෝෂිකය: විශ්‍රාම වැටුපට අමතරව, යෝජනා ක්‍රමය සඳහා සිදුකරන සුදුසුකම් ලත් විදේශ මුදල් දායකත්වය මත සාමාජිකයින්ට විශ්‍රාම පාරිතෝෂිකයක්ද හිමි විය හැකිය.
- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SSB) -https://www.ssb.gov.lk/
වැඩිදුර තොරතුරු: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවිය https://www.slbfe.lk/
SLBFE ලියාපදිංචි හා ලියාපදිංචිය අලුත් කිරීමේ අයදුම්පත්‍රය බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න.